සියල්කොට් වැනි සිද්ධීන් මැඩලීමට සහ සියලු වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දීම සඳහා පුළුල් උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට ඉස්ලාමාබාද්හි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිල සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා.
මෙහිදී ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩනගේ ඝාතනය කිරීමේ කුරිරු ක්‍රියාව සම්බන්ධයෙන් අගමැතිවරයා සිය දැඩි කනස්සල්ල නැවතත් පළ කළ අතර, අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමේ අධිෂ්ඨානය ද මෙම රැස්වීමේදී ප්‍රකාශ වුනා.
ආගමික අන්තවාදී පුද්ගලයන්ට සහ මැර කල්ලිවලට නීතිය අතට ගැනීමට ඉඩ දිය නොහැකි අතර, එවැනි සිදුවීම් තවදුරටත් ඉවසිය නොහැකි බවත් මෙම රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයා බේරා ගැනීම සඳහා තම ජීවිතය අනතුරේ හෙලූ මලික් අද්නාන්ගේ නිර්භීතකම සහ ධෛර්යය ද මෙම රැස්වීමේදී පැසසුමට ලක් වී තිබෙනවා.
මෙම රැස්වීමේදී අභාවප්‍රාප්ත ප්‍රියන්ත දියවඩනගේ ගේ පවුලේ ඥාතීන් වෙත බලවත් ශෝකය ප්‍රකාශ කිරීමක්ද කර තිබෙනවා.
මෙම රැස්වීමට ප්රවෘත්ති අමාත්‍ය ෆවාඩ් අහමඩ්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ්, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා, ජාතික ආරක්ෂක උපදේශක මොයිඩ් යූසුෆ්, ප්‍රධාන අමාත්‍ය පන්ජාබ් උස්මාන් බුස්දාර් සහ ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නිලධාරීන් සහභාගී වූනා.
කෙසේ වෙතත් මෙම රැස්වීමට සියල්කොට් සිද්ධිය සාධාරණීකරනය කිරීමට උත්සාහ කළ, ආරක්ෂක අමාත්‍ය පර්වේස් බට්ටක් සහභාගි වී ඇති බවට තහවුරු වන්නේ නැහැ.
149